වැඩි අස්වැන්නකට - " බෝග ආතතිය"

අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ වැඩි අස්වැන්නක් ...
වැඩි අස්වැන්නකට නම් අපි කතා කරන්නෙම, පොහොර යෙදීම, ජලය යෙදීම, වල් පැල පාලනය වගේ කාරණා රැසක් ගැනනේ ...
එතකොට මොකක් ද මේ " බෝග ආතතිය " කියන්නේ ...
ආතතිය කියන්නේ අපි හැමෝටම හොඳට පුරුදු වචනයක් ...
මොකද අපිට ආතතිය ඇති වෙනවනේ ...
අන්න හරි... අපිට වගේම තමයි බෝගයකටත් ඇතිකරන්න කියන මේ ආතතියත් ...
ආතතිය කියන්නේ " Stress " කිව්වොත් අපිට දැනෙන ලේසීම වචනය ...
එහෙමත් නැත්තන් පීඩනය කියන්න පුළුවන් ...

බෝගයකට ආතතියක් ආවොත් ඒක කොහොමද අස්වැන්න වැඩි වෙන්න බලපාන්නේ කියලා එකපාරට හිතාගන්න බෑ නේද?
අපිනම් ආතතියය දැනුනොත් අඬනවා, කේන්ති ගන්නවා, කෑගහනවා, බනිනවා, රවනවා, වගේ මෙකී නොකී ගොඩක් දේවල් කරනවා ...
ඇතැම් අය ජීවිතය පවා නැති කරගන්නවා ...
හැබැයි මේ එකක්වත් බෝගයකට කරන්න බෑ ...

එයාලට දැනෙන එකම දේ
" මේ පීඩනය මට දරාගන්න බෑ ... මාව මැරෙන්නයි යන්නේ ... මම මැරුනොත් මගෙ පරම්පරාවම ඉවරයි ... එහෙනම් මම මැරුනම මගෙ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පැටවු ටිකක් හදන්න ඕනේ " කවු ද ? මේ පැටවු ... බෝග වල අපිට දෙන ගෙඩි, ඇට ආදී අස්වැන්න ...
බෝගයට ඉදිරි පරම්පරාව පවත්වගන යන්න පැල හදාගන්න තියෙන්නේ අපි ගන්න මෙන්න මේ බෝග අස්වැන්නනේ ...
මම මේ විදිහට ඔයාලට දැනෙන්න ලිව්වට ගස්වලට හිතන්න බෑ ...
හැබැයි සොබාදහම එයාලටදීල තියනවා, පීඩාකාරී කාල පහුවෙද්දී බෝග ශාක මියගියහොත් ඉදිරි පරම්පරාවක් බෝවෙන්න ගෙඩි , ඇට ආදිය වැඩි ප්‍රමාණයක් නිපදවීමට ස්වාභාවිකවම හැකියාව ...
අපි කරන අනිකුත් සාත්තු ක්‍රියා සියල්ල නිසා අස්වනු වැඩි වෙනවා තමයි ...
නමුත් ඕනවට වඩා සැප පහසුකම් ලැබෙද්දිත් බෝග ශාක සනීපෙට හැදි හැදී ඉන්නවා අස්වනු යහපත්ව නොදී ...
හරියට අපි වැඩ කරන්නේ නැතුව කකා, බිබී නිකන් ඉන්නකොට මහත්වෙවී ඉන්නව වගේ ...
එහෙමත් නැත්තන් ටිකක් දුෂ්කරතා දැනෙද්දි අපි මහන්සිවෙලා අපේ හැකියාවන් එලියට ගන්නව වගේ ...
අපි කොහොමද බෝග ශාක වලට ආතතියක් දෙන්නේ ?
ප්‍රධානතම දේ තමයි ආධාරක ශාක කප්පාදුව ...
වැස්සත් එක්ක බෝගයේ ආධාරක ශාක කප්පාදු කරලා බෝගයට ඉර එළිය හොඳින් වැටෙන්න සලස්සන්නම ඕනේ ...
ඔන්න එතකොට හිරු එළිය නිසා පීඩාකාරී බවක් ඇතිවෙලා වැඩි අස්වැන්නකට යනවා ...
ගම්මිරිස්, වැනිලා බෝග හොඳම උදාහරනයන් ...

මෙම බෝගවල ආධාරක ශාක කප්පාදු කිරීම අනිවාර්යයෙන්ම කලයුතු නඩත්තු ක්‍රියා විදිහට නම් කරලම තියනවා
ගම්මිරිස් වැලක්අනවශ්‍ය පා වැල්, රෑන් වැල් ගොඩාක් තියාගන ඉන්නවනම් ඒවා ඉවත් කරලා පීනනයක් දෙන්නත් ඕනේ ...
වැනිලා වැල් ගත්තොත් වැලේ දලු කොටසේ ඉඳන් පුරුක් හයක් විතර කපල අයින් කරන්නෙත් ආතතියක් ඇතිකරලා මල් අංකුර උත්තේජනය කරන්න ...
චෝදනාවක් තමයි ලිඳ ලඟම තියෙන්නේ, හොඳට වතුර තියනවා, සනීපෙට හැඳිලා ඒත් අස්වනු නෑ කියන එක ...
එහෙනම් ඒ සනීපේ වැඩි වෙලා...
ඒ කියන්නේ වතුර හැමවෙලේම ...
පීඩාවක් දැනෙන්නේ නෑ ...
එහෙනම් වතුර සැපයුමත් ටිකක් අඩාල කරල පීඩාවක් දීලත් බලන්න ඕනේ ...
ඔන්න එතකොට බය වෙලා අස්වැන්න දෙනවා ...
බෝගය මැරෙනකන්ම වතුර නොදා ඉන්නත් එපා ... ඒක අපි ගලපගන්න ඕනේ ...
පමණ අභිබවා පොහොර භාවිතා කිරීමත් හානියක් ...
එතකොටත් සනීපෙට බෝගය හොඳට කාලා ලොකුවෙලා අස්වනු අඩු කරනවා ...
පොහොර විස වෙන්නත් පුළුවන් ...
එහෙනම් ඕනවට වඩා කන්න දෙන්නත් එපා, නිර්දේශිත පමණම දෙන්න ...

මිනිස්සුන්ට ජීවිතේ දුෂ්කර කාල ආවහම, හිටියට වඩා ශක්තිමත්ව ඒ කාල තරණය කරලා ආපහු නැගිටිනවා ...
අන්න ඒවගේ දුෂ්කර එහෙමත් නැත්තන් පීඩාකාරී කාල වකවානු එද්දී බෝග ශාකත් වැඩි අස්වැන්නක් එක්ක අපහසු කාල තරණය කරලා ශක්තිමත් වෙනවා ...
මතක තියා ගන්න, ආතතිය පමණටත් වඩා වැඩි උනාම දරාගන්න බැරිව ජීවිතය අතාරින මිනිස්සුත් ඉන්නවනේ ...
අන්න ඒක නිසා බෝගයකටත් පමණ දැනගෙන ආතතිය ඇති කරන්න වගබලා ගන්නත් ඕනේ ...
එහෙනම් බෝගය අනුව ප්‍රායෝගිකව ගලපගන, ආතතියක් ඇති කරලා වැඩි අස්වැන්නකට යන්න නිවැරදි නඩත්තු ක්‍රියාවන් සිදු කරන්න මතක තබාගන්න ඕනේ ...

එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරී
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
උපුටාගැනීම - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුවෙන්...

Chat with us!
WhatsApp Icon